මල්වතුඔය පිටාර ගැලීමෙන් පෙරිමියන්කුලමේ කූඹුරු විනාශයි


(උපුල් තම්මිට)
 
පවතින වැසි තත්වය හේතුවෙන්, දින පහක් තිස්සේ අනුරාධපුර මල්වතුඔය පිටාර ගැලීමෙන් පෙරිමියන්කුලමේ කුඹුරු විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ගොවීහු පවසති.

පෙරිමියන්කුලම සිට ගල්කඩවල අමුණ දක්වා මල්වතුඔය දෙපස කුඹුරු මෙලෙස ගංවතුර හේතුවෙන් විනාශයට පත්ව ඇත. පෙරිමියන්කුලමේ පුරාණ ගල්පාලම අසළින් මල්වතු ඔය පිටාරගැලීම හේතුවෙන් ජලය සමග ගසාගෙන ආ වැලිවලින් කුඹුරු රැසක්  පිරී තිබේ.මේ හේතුවෙන් මෙවර මහ කන්නයේ වගාකර තිබූ පැළ ගොයම් සහිත කුඹුරු අක්කර 500කට වැඩි ප්‍රමාණයක් විනාශවී ඇතැයි ගොවීහු කියති.

මේ පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පවසා සිටියේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් අපදා තත්වය පිළිබඳ තොරතුරු රැස්කරමින් සිටින බවත් තම ඒකකයට මෙතෙක් ආපදා දත්තයන් නොලැබී ඇති බවත්ය.

අද(11) උදෑසන වනවිට ගංවතුර තත්වය ක්‍රමයෙන් බැස යමින් තිබූ නමුත්  පුරාණ ගල්පාලමේ ස්ථාන කිහිපයක් තවමත් ජලයෙන් යටවී ඇති බවද ගොවීහු කියාසිටිති.
 
මල්වතුඔයේ පහළින් ඉදිකර ඇති ගල්කඩවල අමුණ අධික වර්ෂා කාලයේදී ජලය පහසුවෙන් ගලායාමට විශාල බාධාවක් වීම හේතුවෙන් මෙලෙස ගංවතුර තත්වයක් ඇතිවන බව ගොවීහු පවසති.2014 වසරේ දෙසැම්බර් මාසයේදී ඇතිවූ ගංවතුර අවස්ථාවේදී ගල්කඩවල අමුණ කඩා ඉවත්කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවුණද ‍මෙතෙක් එය ඉටු නොවුණු බවද ඔවුහු කියති.