(ජයන්ත සමරකෝන්)
මත්කුඩු භාවිතයට අබ්බැහි වූවන් වැඩියෙන් ප්‍රජා විශෝධනයට යොමු කිරීම සඳහා ප්‍රජා විශෝධන පනතට අවශ්‍ය සංශෝධන වහාම ගෙන එන බව අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (18) පැවසීය.
මත්ලෝලින් හා මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් එකට හිරගෙවල්වල ගාල් කිරීමේ නීති පද්ධතිය වෙනස්විය යුතු කාලය එළඹ ඇතැයිද අමාත්‍යවරයා කීය.
බන්ධනාගාරගත සිරකරුවන් අතරින් සියයට 45 ක් මත්ද්‍රව්‍ය වැරදිකරුවන් බවද හිරගෙවල්වල අධික තදබදයට මෙය ප්‍රධාන හේතුවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇතැම්විට පොලිසිය සිය නිල බලය අයුතු ලෙස යොදා ගනිමින් මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් ඇප නොමැතිව හිර ගෙදරට යවන බවද මේ පිළිබඳව පැමිණිලි රාශියක් ලැබී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
බන්ධනාගාර රැඳවියන් පුනරුත්තාපනය කර රැකියා නියුක්තිකයින් බිහිකිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ පැවැති සමාජ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

