මගී භාණ්ඩ යයි අඟවා කෝටි එකහමාරක මත්කුඩු - මත්පැන් ගෙනෙයි


 

 

මහින්ද නිශ්ශංක

 

පාවිච්චි කරන ලද මගී භාණ්ඩ ලෙස සඳහන් කරමින් ඉතාලියේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස එවන ලද පාර්සල් දෙකක තිබි හෂීස් කිලෝ 2 ග්‍රෑම් 945 ක්, කුෂ් නැමති ගංජා කිලෝ 2 ක් , විස්කි බෝතල් 220 ක් , වයින් බෝතල් 225 ක් හා බීර කෑන් 100 රේගු මගී භාණ්ඩ ශීක්ෂණ අංශය මගින් ඔරුගොඩවත්ත රේගු අංගනයෙදී අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු අධ්‍යක්ෂක හා රේගු  මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

මෙම මත්ද්‍රව්‍ය හා මත්පැන් තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වෙතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක කීය.

මේ සම්බන්ධව ඉතාලියේ සිටි මගී භාණ්ඩ පාර්සල් මෙරටට එවන ලද සමාගමේ ශ්‍රී  ලංකා නියෝජිත හා වාප්පු ලිපිකරු රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.