මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට


(රන්න චන්ද්‍රසේන ගමගේ)

පසුගිය මාස කිහිපයක් පුරා බෙලිඅත්ත පොලිස් වසම තුළ සිදුකරන ලද මංකොල්ලකෑම්  රැසකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු සමග මංකොල්ල කන ලද රන් ආභරණ රැසක් බෙලිඅත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින්  අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.

බෙලිඅත්ත පොලිස් වසමේ වහරක්ගොඩ,  අරංවෙල,  බෙලිඅත්ත නගරය හා දික්වැල්ල පොලිස් වසමේ වලස්ගල යන ප්‍රදේශවල ගෙවල් බිදීම් 08 ක් සිදුවී ඇති බව පවසන පොලීසිය ඊට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගත් බව කියයි. අත්අඩංගුවට පත් සැකකරුවන් බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් වයස අවුරුදු 18ත් 25ත් අතර පසුවන්නන් බවද පොලීසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන්  කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරුවන් විසින් මංකොල්ල කන ලද රුපියල් ලක්ෂ 10ට වඩා අධික වටිනාකමකින් යුක්ත රන් ආභරණ රැසක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. බොහෝ රන් ආභරණ සැකකරුවන් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වලට උකස් කොට තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද (14) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.