බොරලන්දේ ගෙවත්තක ජීව අත්බෝම්බයක්


(ඩී.කේ.රත්න )

වැලිමඩ බොරලන්ද වංගියකුඹුර  ඕලූගංතොට ප‍්‍රදේශයේ නිවසක ගෙවත්තක තිබී එස්.එස්.ජී.වර්ගයේ ජීව අත්බෝම්බයක් අද (15) උදෑසන සොයා ගෙන ඇතයි බෝගහකුඹුර පොලීසිය පවසයි.

විශ‍්‍රාමික ගුරුවරයෙකුට අයත් මෙම නිවසේ හිමිකරු කොස් ගෙඩියක් කැඞීමට යාමේදී තම ගෙවත්තේ පඳුරක් අසළ පොලිතීන් බෑගයක ඔතා දමා ඇති  යමක් දැක පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරක් අනුව මෙම ජීව අත්බෝම්බය බෝගහකුඹුර පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙම ජීව අත්බෝම්බය නිෂ්ක‍්‍රීය කිරීම සදහා හපුතලේ පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරට දැනුම්දී තිබේ. කිසියම් පුද්ගලයෙකු විසින් කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා මෙම බෝම්බය රැගෙන ආවේ දැයි පොලීසිය සැක කරයි.

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි බෝගහකුඹුර පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.