බුදු මැදුරකට අලාභහානි කළ අයෙක් අල්ලයි




( තිලකරත්න දිසානායක)

ගම්පහ, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි බුදු මැදුරකට පහරදී අලාභහානි කිරීම සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අවිවාහකයෙකු බවත්, මොහු මත් ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවී සිටින්නෙකු බවත් පොලීසිය පවසයි.

යම් අසනීප තත්ත්වයකින්ද පසුවන සැකකරු ඇතිවූ ආරවුලකදී දිවගොස් බුදු මැදුරට පහරදී ඇති බව අනාවරණය වී යැයි ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසීය.

බුදු මැදුරට අලාභහානි කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.