(රංජිත් රාජපක්ෂ)
බස් රථයකට යටවී පොලිස් කොස්තාපල්වරයෙක් අද (20) ජීවිතක්ෂයට පත්වී ඇති බව මස්කෙලිය පොලිසිය පැවසීය.
මෙම අනතුර සිදුවී ඇත්තේ මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මවුස්සාකැලේ පොලිස් මුරපොල අසලදීය.
අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ පොලිස් ජිවිත ආරක්ෂක බලකායේ සේවයේ නියුතු 40 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.
මියගිය පොලිස් කොස්තාපල්වරයා කැබතිගොල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මැදවච්චිය පොලිසියේ රාජකාරියේ නිරතව සිට ශ්‍රී පාද විශේෂ රාජකාරි සඳහා අද (20) මස්කෙලිය පොලිසිය වෙත වාර්තා කර ඇති බවත් පොලිසිය කීය.
මස්කෙලියේ සිට නල්ලතන්නිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් රාත්‍රී රාජකාරී සඳහා මවුස්සාකැලේ පොලිස් මුරපොල වෙත ගමන් කර ඇත.
පොලිස් කොස්තාපල්වරයා බස් රථයෙන් බැස පොලිස් මුරපොල වෙත ගමන් කරන අවස්ථාවේ ඔහු පැමිණි බස් රථයටම යටවී ජිවිතක්ෂයට පත්වී ඇති බව මස්කෙලිය පොලිසිය කීය.
පෞද්ගලික බස් රථයේ රියදුරා පොලිස් මුරපොල අසල දී මගීන්ව බස්සවා අධික වේගයෙන් පොලිස් මුරපොල පසු කර බස් රථය නතර කිරීමට උත්සහ කිරීමේදී මාර්ගයේ ගමන් කළ පොලිස් කොස්තාපල්වරයා යට කරගෙන බස් රථය ධාවනය කර ඇති බව මස්කෙලිය පොලිසිය සඳහන් කළේය.
බස් රථයට යට වූ පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මස්කෙලිය ප්‍රදේශීය රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය කීය.

