බදුලු මහ රෝහලේ පස් නොමිලේ දෙන්න තීරණය කරයි


(එෆ්.අස්ලම්)

 

බදුල්ල මහ රෝහලේ දස මහල් ගොඩනැගිලි ද්විත්වය ඉදිකිරිමට බාධාවක් වී පවතින් පස් නොමිලේ ලබාදීමට රෝහල් පාලනාධිකාරීය තීරණය කර ඇතැයි බදුල්ල පළාත් මහ රෝහලේ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය ගයාන් කුරේ මහතා පැවසීය.

ග්‍රාම නිලධාරීවරයකුගේ සහ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිතව රෝහල් භූමියේ ගොඩ ගැසී තිබෙන පස් කියුබ් 7000 ක් නොමිලයේ ලබාදීමට තීරණය කර ඇත.

පසුගිය රජය සමයේ මුල් ගල් තැබූ දස මහල් ගොඩනැගිලි ද්විත්වය තුළ බදුල්ල වකුගඩු රෝහල, හදිසි ප්‍රතිකාර ඒකකය, ස්නායු රෝග ඒකකය සහ අඩුපාඩුව පවතින ඒකක ස්ථාපිත කිරීමට නියමිතය.

ඒ අනුව බදුල්ල ප්‍රදේශයේ හෝ අවට ප්‍රදේශවල ඉදිකිරීම් වෙනුවෙන් රාජ්‍ය හෝ පෞද්ගලික පාර්ශවයට පස් අවශ්‍යතාවක් ඇතිනම් ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිත ඉල්ලුම් ලිපියක් රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ හැකි බවත් ඒ අනුව එම අවශ්‍යතාවය කඩිනමින් සලසා දිය හැකි බවත් වෛද්‍ය ගයාන් කුරේ මහතා කියා සිටියේය.