බදුල්ලේ සිසුන් 4 දෙනා මිය යාම සම්බන්ධයෙන් ගුරුවරුන් 8 දෙනෙකුට තාවකාලික මාරුවීම්


( විජේරත්න රත්නායක )   
 
ත්‍රිකුණාමලය මැදවච්චිය වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියයෑමේ සිද්ධියට සම්බන්ධ හාලිඇල බ/ඌව විද්‍යා විද්‍යාලයේ ගුරුවරුන් 8 දෙනෙකු තාවකාලිකව වෙනත් පාසල්වලට අනුයුක්ත කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ.
 
අදාළ සිද්ධිය සම්බන්ධව පවත්වන ලද මූලික විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති අතර මේ වන විට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන විමර්ශනය අවසන් වන තුරු මෙම ගුරුවරුන් බදුල්ල කලාපය තුළ විවිධ පාසල්වලට අනුයුක්ත කර ඇතැයි සඳහන් වේ.
 
ඉකුත් 19 වැනි දින හාලිඇල බ/ ඌව විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් පිරිසක් සම්බන්ධ වූ අධ්‍යාපන චාරිකාවක් අතුරුතුර ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දිය නෑමට ගොස් මෙසේ දියේ ගිලී මියගොස් තිබුණේ හාලිඇල ඇටම්පිටිය පදිංචි අනුහස් සමාධි, බදුල්ල හිඟුරුගමුව පදිංචි ඉමේෂ් ෂෙහාන්, හාලිඇල ගලඋඩ පදිංචි නෙතික ගලපිටගෙදර සහ ඇල්ල ගොටුවල පදිංචි තරුෂ අංජන නම් සිසුන් සිව්දෙනෙකි.