පොහොට්ටුවේ මන්ත්‍රීගෙන් මාධ්‍යවේදියාට තර්ජන


විශේෂ වාර්තාකරුවකු විසිනි

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම ආවරණය කිරීමට ගොස් සිටි නයිනමඩම ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතාට අද (12) ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.                                                           

ප්‍රාදේශීය සභා රැස්වීම අතරතුර තේ විවේකය සඳහා සභාව නැවැත්වූ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සුදත් පෙරේරා මහතා මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතා සිටි ස්ථානයට පැමිණ එම මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පළවූ පුවතක් සම්බන්ධයෙන් විමසා අවේගශීලීව බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ලැබී ඇති බව පොලිසිය පවසයි.

මෙම මන්ත්‍රීවරයා මීට මාස 2 ට පමණ පෙර  වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සතිපොළේ රථ ගාලේ බාරකරුට කළැයි කියන පහරදීමක් සම්බන්ධව පොලිසියෙන් ලබාදුන් තොරතුරක් පිළිබඳව පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියාට බැන වැදී හා තර්ජනය කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කීය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා විසින් මාධ්‍යවේදි චන්දන ප්‍රනාන්දු මහතාට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් තේ පානයෙන් පසුව සභාව රැස්වූ අවස්ථාවේදීම සභාපති සුසන්ත පෙරේරා මහතා මාධ්‍යවේදි චන්දන ප්‍රනාන්දු මහතාට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව පලකළ අතර විපක්ෂ නායක ශිරෝන් ප්‍රනාන්දු මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී තරංඟ කරුණාරත්න මහතා මෙම බැන වැදීම හා තර්ජනය දැඩිලෙස හෙලා දකිමින් විරෝධය පල කළේය.