පොලොන්නරුව ගොවිජනතාවගේ කිරි ආහාර පූජාකිරීමේ පිංකම අද


(ක.ග. කරුණාරත්න)

පොලොන්නරුව ගොවිජනතාව මෙවර යල කන්නයේ සිය වී අස්වැන්නේ අග්‍ර ඵලයෙන් පිළියෙල කර ගන්නා ලද කිරි ආහාර දකුණු දළදා වහන්සේට පූජාකිරීමේ උතුම් පිංකම අද (28) පෙරවරුවේ එෛතිහාසික සෝමවතිය චෛත්‍යරාජයාණන් අබියසදී සිදුකරනු ලැබීය.

සෝමවතිය රාජමහා විහාරාධිපති, මල්වතු මහාවිහාර පාර්ශවයේ නියෝජ්‍යමහා ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී සුමංගල මහනාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ධ ව්‍යාපාර ගොවිසංවිධානය මේ චාරිත්‍රානුකූල පිංකම සංවිධානය කර තිබුණි.

මේ අවස්ථාවට වාරිමාර්ග ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂිකා චන්‍ද්‍රිකා ඇතුගල මහත්මිය, පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර අධිකාරි ඩී.එම්.ඥානපාල, මින්නේරිය ව්‍යාපාර අධිකාරි ඩී.එස්. සෝමසුන්දර, පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර යන මහත්වරු ඇතුලු රාජ්‍ය නිලධාරිහු රැසක්ද, පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ධ ව්‍යාපාර ගොවිසංවිධානයේ සභාපති ඩබ්ලිව්. ජගත් අරුණකීර්ති මහතා ප්‍රමුඛ ගොවිජනතාව මේ අවස්ථාවට සහභාගි වූහ.