පොලිස් සැරයන් හැප්පූ කොස්තාපල් රිමාන්ඩ්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජීප් රථයකින් මීගොඩ පොලිසියට පැමිණි පාදුක්ක පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු , මීගොඩ පොලිසියේ සැරයන්වරයෙකු හප්පා පලා යාමේදී දැඩි  පරිශ්‍රමයක් දරා කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත්බව මීගොඩ පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් කාන්තාවක් බලහත්කාරයෙන් මුදවා ගැනීමට මෙම පොලිස් කොස්තාපල්වරයා මීගොඩ පොලිසියට පැමිණ ඇති බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා හෝමගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැදිගේ මහත්මිය අද (07) නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ පාදුක්ක පොලිසියේ තනිකඩ භෝජනාගාරයේ පාලක ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

මීගොඩ දෙනිය ප්‍රදේශයේ නිවසක් තුළ කැට ගසන බවට මීගොඩ පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානයෙන් යුත් කණ්ඩායමක් එහි ගොස් කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී සැකකාර කොස්තාපල් වරයා ජිප් රථයකින් පැමිණ මීගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිටදී පොලිස් පරීක්ෂකවරයාට බැන වැදී එහි සිටි කාන්තාවක් මුදා හරින ලෙස තර්ජනය කර තිබූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

අනතුරුව එහි සිටි පොලිස් නිලධාරින් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී ඔහු එක වරම ජිප් රථය පණ ගන්වා වේගයෙන් එම ස්ථානයෙන් පලා යාමට උත්සහ කීරීමේදී වැටලීමට සහභාගී වී පොලිය වෙත පැමිණෙමින් සිටි සැරයන්වරයා යට වී තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කරයි .

තුවාල ලද සැරයන් වරයා පාදුක්ක රෝහලට ඇතුලත් කර ඇත.