(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ බෙරගල නගරයේදී පොලිස් නිලධාරියකුට පහරදුන් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මාර්තු මස පස්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරු හෙන මහතා නියම කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බෙරගල පදිංචි අම්ඹනායගම් මුරලි නමැති පුද්ගලයෙකි.
හල්දුම්මුල්ල පොලීසියට අනියුක්තව පොලිස් රථවාහන අංශයේ සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ පහර කෑමට ලක්ව ඇති අතර ඔහු හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් ප්‍රතිකාර ලබාගෙන තිබේ.
ජංගම මුර සංචාරයේ යෙදී සිටියදී මෙම පොලිස් නිලධාරියා පහර කෑමට ලක් වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
බණ්ඩාරවල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතාගේ උපදෙස් ඇතිව සහකාර පොලිස් අධිකාරී උපාලි තලගල මහතාගේ මෙහෙයවීම යටතේ හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

