පුරාණ මීරිගම වෙල්යායකින් ඇටකටු මතු වෙයි


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම විල්වත්ත හා බෝතලේ දුම්රිය ස්ථාන අතර පුරාණ මීරිගම ප‍්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල වෙල් යායක විසිරී තිබූ මෘත ශරීරයක අස්ථි කොටස්  අද (18) සොයාගත් බව මීරිගම පොලිසිය කියයි.

එම ප‍්‍රදේශයේ ඉඩමක් එළි පෙහෙළි කිරීමට ගිය පුද්ගලයකුට දුගදක් දැනී කළ සෝදිසියේදි මෙම ඇට කටු දැක පොලිසියට දැනුම් දී ඇත.

හිස් කබල ද පැත්තක තිබූ බවත් ඇට සැකිල්ලේ කොටස් විසිරී තිබු බවත් පොලිසිය කීය. උකුල් ඇටයක් ඒ අසල වන රොදක තිබී හමු වී තිබේ. සරමක් හා නිල් පැහැති බැනියමක්ද ඒ ආසන්නයේ තිබී හමුවී ඇත.

මෙම ප‍්‍රදේශයේ කුඹුරු පුරන්ව පවතින හෙයින් ප්‍රදේශවාසින් නිතර නොඑන නිසා මේ බව දැක නැති බවත් එම ඇස්ථි කොටස් දෙසතියකට පමණ පෙර මියගිය අයකුගේ අස්ථි කොටස් බවට පොලිසිය සැක කරයි.

මෙම ඇටකටු දුම්රියෙන් වැටී මියගිය අයකුගේද නැතහොත් කිසියම් අපරාධයක් නිසා සිදුවූ මරණයක්ද යන වග අනාවරණය කර ගැනීමට පරීක්ෂණ පැවැත්වෙයි.