පුද්ගල ඝාතනයකට දෙදෙනෙකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
රත්මලාන සිල්වෙස්ටර් මාවතේදී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයන් දෙදෙනෙකු බදුරලිය නිවසක සැඟවී සිටියදී අද(10) අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනා 20 සහ 30 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති.
 
මෙම පුද්ගලයන් දෙදෙනා ඉකුත් 2 වැනි දින සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයන් බවත්, ඔවුන් එදින රත්මලාන ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බවත් පොලිසිය පවසයි.
 
මනුෂ්‍ය ඝාතනයක් කරන ලද දෙදෙනෙකු බදුරලිය- කළුගල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
කලුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පරීක්ෂණ පවත්වයි.