පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය හිඟයක්


( එච්. චන්දන )

පුත්තලම  මූලික රෝහලේ පවතින නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟයක් නිසා ශල්‍යකර්මවලට බාධා එල්ල වී ඇතැයි ද  හදිසි අනතුරු  ඒකකයේ රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී ඇතැයි ද වාර්තාවේ.

රෝහලට නිර්වින්දන වෛද්‍යවරුන් 18 දෙනකු අවශ්‍ය වුවත් දැනට සේවය කරන්නේ වෛද්‍යවරුන් 04 දෙනකු පමණක් බවත් එයින් දෙදෙනකුද පුහුණු වන වෛද්‍යවරුන් බවත්  කියැවේ.

රෝහලේ  හදිසි  ශල්‍යකර්ම පමණක්  සිදු කරන බව ශල්‍යාගාරයේ දොරටුවේ  සදහන් කර තිබේ.

දැනට වාට්ටුවල දෛනික කටයුතු කර ගෙන යාම සඳහා විශේඥ වෛද්‍යවරුන්ට සහය වීමට  ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් නොමැති වීමෙන් ප්‍රතිකාර කිරීමේදී  ගැටළු රැසක් ඇතිව තිබේයැයි වාර්තා වේ.

වාර්ෂික ස්ථාන මාරුවීම්වලදී නිසි පරිදි වෛද්‍යවරුන් නොලැබීමත් සේවයට පැමිණෙන වෛද්‍යවරුන් අධ්‍යාපන කටයුතුවලට යාමත් නිසා  මෙම තත්වය ඇතිව තිබෙන බව පුත්තලම  මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී  ආර්. නගුලනාදන් මහතා පවසයි.

මේ පිළිබදව බලධාරින් දැනුවත් කර ඇති බවත් වෛද්‍යවරුන්  50කට වැඩි හිඟයක් පවතින බවත් ඒ මහතා කියයි.

අඩුම තරමේ වෛද්‍යවරුන්  30 දෙනකුවත් ලබා ගැනීමට හැකි වුවහොත් තරමක් දුරට හෝ රෝහල පවත්වාගෙන යා හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.