(රංජිත් රාජපක්‍ෂ)
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ රොසැල්ල කුයිල්වත්ත ප‍්‍රදේශයේ පිහිටා ඇති පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකින් තමන් පරිහරනය කරන පානිය ජලයට ඉන්ධන මුසුවන බව පවසමින් වතුකම්කරුවෝ පිරිසක් අද (03) එම ඉන්ධන පිරවුම් හල වැටලූහ.
එම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන ස්වල්පයක් බිමට පතිත වන බවත් එම ඉන්ධන පවතින වර්ෂාවත් සමගම ඒ අසලින් ගලා යන මහවැලි ගඟේ ප‍්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ගලා බසින බවත් එම ඉන්ධන පිරවුම්හලේ සේවකයෝ පවසති.
එම ඉන්ධන පිරවුම්හල අසලින් ගලා බසින ඇළ මාර්ගයකට ජලනල යොදා ගනිමින් එම වතුයායේ වතුකම්කරුවන් පානිය ජලය ලබා ගන්නා අතර එම ඉන්ධන පිරවුම්හලේ සහ ඊට යාබදව තිබෙන සංචාරයක හෝටලයක මළ අපද්‍රව්‍යද එම ඇළ මාර්ගයට ජල නල ඔස්සේ මුදාහැර ඇතැයි කියැවේ.
මේ පිළිබදව වටවල පොලිසියට පැමිණිලි කරන ලෙස විරෝධතාකරුවන් හමුවට පැමිණි වටවල පොලිසියේ නිලධාරීන් පැවසූ අතර ඒ අනුව වතුකම්කරුවන් පිරිසක් වටවල පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ සම්බන්ධයෙන් එම ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුගෙන් කළ විමසීමකදී පැවසුවේ මෙම ඉන්ධන කාන්දුවට විසඳුමක් ලබා දෙන ලෙස තම ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුට දැනුම් දිමක් කර ඇති බවයි.
ඒ අනුව ඉදිරියේදි වතුකම්කරුවන්ට පිරිසිදු පානිය ජලය ලබා දීමේ වැඩ පිළිවෙලක් දියත් කරන බවද කළමනාකාරවරයා පැවසීය.