පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් රිමාන්ඩ්


(විජේරත්න රත්නායක )

දුරකතන රැහැන් සහ එම රැහැන්වලින් ඉවත් කරගත් තඹ කම්බි කිලෝ 1260 ක් සැකකටයුතු ලෙස ප්‍රවාහනය කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු මේ මස 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා අද (02) නියෝග කළේය.

ඉකුත් පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කළ බව කියන බඩල්කුඹුර අලුපොත පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු සහ පොල්කටුහේන ගුරුතලාව යන ලිපිනයේ පදිංචි 21 හැවිරිදි අයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

මෙම පළමු සැකකරුගේ නිවසේ සිට අදාළ දුරකතන රැහැන් සහ තඹ කම්බි තොගය දෙවන සැකකරුගේ බව කියන කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පස්සර පොලිසිය මඟින් සැකකරුවන් හා භාණ්ඩ පස්සර නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම රැහැන් හා කම්බි තොගය කොළඹ බලා රැගෙන යමින් සිටි බව පැවසේ.

පස්සර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.