ශාන්ත චන්ද්‍රසිරි
පාරදෙක - දොරගල මාර්ගය සකසා දෙන ලෙස ඉල්ලමින් මහනුවර-නුවරඑළිය මාර්ගය පාරදෙක ප්‍රදේශයේදී හරස් කරමින් ගම් වැසියෝ විශාල පිරිසක් අද (21) උද්ඝෝෂණයක නිරතවුහ.
පාරදෙක නගරයේ සිට දොරගල දක්වා වැටී ඇති කිලෝ මීටර් 17 පමණ දුර මෙම මාර්ගය වසර 40 ක පමණ කාලයකින් අලුත්වැඩියා කර නොමැති බවත් මේ නිසා වතු පහක කම්කරුවන් ඇතුළු එම මාර්ගය භාවිතා කරන ගම්මාන රැසක ජනතාව දැඩි අසීරුතාවයන්ට මුහුණ පා ඇති බවත් උද්ඝෝෂකයෝ කීහ.
මෙම මාර්ගය මෙසේ දැඩි ලෙස අබලන්ව පැවැතීම නිසා ගොවි ගම්මාන රැසක ගොවි ජනතාව තම වගා අස්වැන්න විකුණා ගැනීමට වෙළෙඳ පොළට රැගෙන යෑමේදි දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇතැයිද ඔවුහු පැවසූහ.
මාර්ගය භාවිතා කරනු ලබන ගම්මානවල හා වතුවල කම්කරුවන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඔවුන් පැය දෙකක පමණ කාලයක් අධික වර්ෂාවේ තෙමමින් මහනුවර- නුවරඑළිය ප්‍රධාන මාර්ග අවහිර කොට උද්ඝෝෂණයේ නිරතව සිටීම නිසා එම මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබිණි.