(බුද්ධික කුමාරසිරි)
පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප‍්‍රදේශයට අයත් සමෘද්ධිලාභීන් 600කගේ පමණ සමෘද්ධි දීමනාව කපා දැමීමට කටයුතු කර ඇතැයි පවසමින් සමෘද්ධිලාභීහු හා ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ අද(12) පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක යෙදුණහ.
ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවෝ එහි පිවිසුම් දොරටුව අහුරා වාඩි වී විරෝධතාවයේ යෙදුණු අතර මේ හේතුවෙන් ලේකම් කාර්යාලයට රාජකාරී කටයුතු සඳහා පැමිණුන නිලධාරීන්ට මෙන්ම තම රාජකාරී අවශ්‍යතා සඳහා පැමිණි ජනතාවට බාධා ඇති විය.
පාදුක්ක, හංවැල්ල, හෝමාගම පොලිසිවල නිලධාරීන් 100කට ආසන්න පිරිසක් ද එහි ආරක්ෂාවට කැඳවනු ලැබ සිටියහ.
පැය දෙකක් පමණ විරෝධතාවයේ යෙදුණු පිරිස පසුව පාදුක්ක සහකාර ප‍්‍රාදේශීය ලේකම් බී. ඒ. දමින්ද චින්තක මහතාට තම විරෝධය ඇතුළත් ලිපියක් භාර දීමෙන් අනතුරුව විසිර ගියහ.