පරිභෝජනයට නුසුදුසු ගව මස් තොගයක් අල්ලයි


(ශාන්ත චන්ද්‍රසිරි)

කොටගල නගරයේ මස්  වෙළෙඳ  සැල්වල සිදු කරන ලද හදිසි පරීක්ෂාවකදී  අළෙවි කිරීමට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් තොගයක් විනාශ කිරීමට කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක  කණ්ඩායමක් අද (16) පියවර ගනු ලැබූහ.

කොවිඩ් 19 වයිරසය සම්බන්ධයෙන් කොටගල නගරයේ මස් හා මාළු අළෙවි කරනු ලබන වෙළෙඳ ප්‍රජාව රජය විසින් ලබාදුන් සෞඛ්‍ය පුරුදු සිදු කරනවාද යන්න  පිළිබඳව සිදු කරන ලද පරික්ෂා කිරීමේදී මෙම ගව මස් තොගය හමුවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවසූහ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් කිලෝ 30 ක් සොයා ගනු ලැබූ බවද ඔවුහු සඳහන් කළහ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් තොගය භුමිතෙල් යොදා ගිණි තබා විනාශ කිරීමට පියවර ගත් බවත් මේ පිළිබඳව ගව මස්  වෙළෙඳ  සැලේ හිමිකරුට දැඩි ලෙස අවවාද කළ  බවත් කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක සවුන්දර් රාගවන් මහතා කීය.

බොහෝ මස් වෙළෙද සැල්වල නියමිත අස්වැසුම් භාවිතා නොකොට අපිරිසුදු අයුරින් මස් අළෙවි කිරීමේ යෙදී සිටින අයුරු නිරීක්ෂණය වු බවත් ඔවුන්ට  එවැනි ක්‍රියාවන්ගේ යළි නොයෙදෙන ලෙස දැඩි ලෙස උපදෙස් ලබාදීමට පියවර ගත් බවත් ඒ මහතා පැවැසීය.