නිධානයක් හෑරීමට ගිය 8දෙනෙකු අත්අඩංගුවට


(ඩී.ජී.සුගතපාල)

වලස්මුල්ල දලුවග්ගොඩ ප්‍රදේශයේ ඉඩමක නිධානයක් හෑරීමට සුදානම් වූ හිමි නමක් ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු අද (09) අත්අඩංගුවට ගත්බව වලස්මුල්ල පොලිසිය පැවසීය.

එම ප්‍රදේශයේම විහාරාධිපති හිමි නමක් , බේකරියක් පවත්වාගෙන යන පුද්ගලයෙකු , බේකරියේ සේවය කරන පුද්ගලයින් තිදෙනෙකු , කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු , ඉඩමේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව පොලිසිය කීය.

සැකකරුවන් සමඟ වතුර මෝටරයක් සහ පූජා භාණ්ඩ රැසක් ද එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලිසිය කීය.

පට්ටගොඩ වත්ත ප්‍රදේශයේ ඉඩමක නිධානයක් හෑරීමට සූදානම්වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව වලස්මුල්ල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකරුවන් හෙට (10) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.