නවෝදාගම වැව් ඉස්මත්තේ බොරළු කැපූ 5ක් අත්අඩංගුවට


(අතුල බණ්ඩාර)

විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, නවෝදාගම රක්ෂිතයේ, නවෝදාගම වැව් ඉස්මත්තේ නිසි අවසරයකින් තොරව  මහා පරිමාණයෙන් පරිසර හානියක් සිදු කරමින්  බොරලු කපා ප්‍රවාහනය කළ පුද්ගලයින් 5 දෙනෙකු සමග ටිපර් රථ තුනක් හා බොරලු කැපීමට යොදා ගත් ස්කැවේටර් යන්ත්‍රයක් අනුරාධපුර අඩවි  වන  කාර්යාල නිළධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර උළුක්කුලම කඳවුරේ නිළධාරීන්   විසින්  සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබිය.

නවෝදාගම හා හැළඹගස්වැව යන වැව් දෙකෙහිම ජල පෝෂක  ප්‍රදේශයක් සේම ,   වන අලින් නිරන්තරයෙන් ගමන් ගන්නා අලිමංකඩක මෙම බොරළු කැපීම සිදු කර තිබිණි. බොරළු කැපුවන්  එහි පරිසරයටද දැඩි හානියක් සිදුකර ඇතැයි වන නිලධාරීහු පවසති.

වැටලීම සිදු කරන අවස්ථාවේදී ස්කැවේටර් යන්ත්‍රයක් මගින් බොරලු කපා ටිපර් රථ තුනකින් බොරලු ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, ඔවුන් සතුව බලපත්‍ර ඇත්දැයි කළ ප්‍රශ්න කිරීමකදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයෙන් ලබා ගත් බලපත්‍රයක් ඉදිරිපත් කර ඇත.

නමුත්,අදාළ භුමිය වන රක්ෂිතයක් බැවින් , වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වේ   අවසරයක් නොමැතිව බොරළු කැපීම හේතුවෙන් ස්කැවේටර් යන්ත්‍රය හා ටිපර් රථ තුන ඇතුළු සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් , ඔවුන් වන රක්ෂිතයට සිදු කළ හානිය තක්සේරු කර අධිකරණයට දැන්වීමට කටයුතුකරණ බවත් ,වැටළීම සිදුකළ වන නිලධාරීහු පවසති .