නවගත්තේගම ව්‍යාපාරිකයාට පහර දුන් තිදෙනා අත්අඩංගුවට


 

ජයරත්න වික්‍රමාරච්චි

 

නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට පහරදී බරපතල තුවාල සිදුකර පළාගොස් සිටි බව කියන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.

ඔවුන් මේ සඳහා යොදා ගත් බව කියන යකඩ ලීවරයක්, පිහියක්, ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් පොලිසිය බාරයට ගෙන ඇත.

නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පදිංචි බව කියන සහෝදරයන් දෙදෙනෙකු සමඟ ඔවුන් දෙදෙනාගේ මස්සිනා බව කියන පුද්ගලයෙක් කොටවෙහෙර, මහඋස්වැව සහ වෙලේවැව ප්‍රදේශවල දී මෙසේ අත් අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.

රියැදුරෙකු බව කියන 36 හැවිරිදි මෙහි ප්‍රධාන සැකකරු ඉකුත් 25 වැනි දා නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැළකට පැමිණ ඇති බවත්, එහි දී එම ව්‍යාපාරිකයා සමඟ කිසියම් සිද්ධියකට ආරවුලක් ඇති කරගෙන පසුව සැකකරු විසින් ව්‍යාපාරිකයාට පිහියකින් ඇනීමට උත්සහා කර ඇති බවත් මූලික විමර්ශන වලදී අනාවරණය වී යැයිද පොලීසිය කියයි.

මෙම අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණි අනෙක් සැකකරුවන් දෙදෙනා අදාළ ව්‍යාපාරිකයාගේ හිසට ලීවරයකින් සහ යතුරුපැදි හිස් වැස්මකින් පහරදී ඇති බවට එම විමර්ශන වැඩිදුරටත් අනාවරණය කරන  බවත්, මෙහිදී බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා මේ වනවිට හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.