නව විදුහල්පති මාරුකර යවන්නැයි විරෝධතාවක්


(නිමල් ජයරත්න)
 
දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයේ වැඩ භාරගත් නව විදුහල්පතිවරයාට විරෝධය දක්වමින් එම විද්‍යාලයේ සිසුහු සහ මව්පියවරු පිරිසක් විද්‍යාලය ඉදිරිපිට අද(02) තෙවන දිනටත් උද්ඝෝෂණයක නිරත වුහ.
 
විරෝධතාකරුවන් පවසන්නේ විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටි හඟුරන්කෙත ගෝතමාලංකාර හිමියන්  දරුවන්ගේ විනය, පාසලේ සංවර්ධනය සහ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් කරමින් සිටියදි දේශපාලනික බලපෑම් මත උන්වහන්සේ මාරුකර යවා, වෙනත් විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු තම විද්‍යාලයට ලබාදී ඇති බවයි.
 
ගෝතමාලංකාර ස්වාමීන් වහන්සේත් අද දිනයේ වැඩභාර ගත් නව විදුහල්පතිවරයාත් හැර වෙනත් විදුහල්පතිවරයෙකු පත්කරන ලෙස ඔවුහු පවසති.
 
තම ගැටලුවට විසඳුම් ලබා නොදුනහොත් විද්‍යාලයේ දරුවන් කිහිපදෙනෙකු හැර සිසුන් 350 කට අධික පිරිසක් විද්‍යාලයෙන් ඉවත්කර වෙනත් පාසලකට යොමු කරන බවද මව්පියවරු පවසති.
 
දිඹුලාගල කලාපීය අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා චන්දිමාලා වාසල මුදලි මහත්මියගෙන් පැවසුවේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත එම විද්‍යාලයට ශ්‍රේණිධාරි විදුහල්පතිවරයෙකු පත්කර ඇති බැවින් ඔහු සමග පාසලේ කටයුතුකරගෙන යාමට දෙමාපියන්ට සහ දරුවන්ට ගැටලුවක් ඇතිවිය නොහැකි බවයි.
 
මෙම විරෝධතාකරුවන්ට සහය පළකිරීම සඳහා දිඹුලාගල ආරණ්‍යවාසී හේනානිගල චුල්ලපංතකාලංකාර හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිපනමක් එහි වැඩම කර සිටියහ.