නකල්ස් -රිවස්ටන් මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවිධිමත්කමින් මගීහු පීඩාවට


(දිල්රුක්ෂි ග්‍රේරු) 

ලග්ගල පල්ලේගම සිට නකල්ස් - රිවස්ටන් හරහා මාතලේ දක්වා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ අවිධිමත් ප්‍රතිසංස්කරණය හේතුවෙන් එම මාර්ගය හරහා ගමන් ගන්නා පිරිස් දැඩි අසීරුතාවට පත්ව සිටිති.

ලග්ගල උඩසිය කොටසට අයත් ඉලුක්කුඹුර, ඇටන්වල,කහගල, දම්මන්තැන්න, මැදඇල, රත්තින්ද, මහලකොටුව, පුවක්පිටිය, දම්මන්තැන්න, පිටවල, ආදි ගම්මාන රැසක ජනයා මේ හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටිති. 

මහවැලි අධිකාරිය මගින් කොන්ත්‍රාත් සමාගමක් හරහා මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙයි. මාසයකට අධික කාලයක් සිට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණද නිසි අයුරින් එය සිදු වී නැතැයි ගම්හු චෝදනා කරති.

පස් රැගෙනව්ත් මාර්ගයට දැමුවද එය නිසි අයුරින් එය සකස් කර නොමැතිවීමෙන් මේ දිනවල පවතින අධික වැසි සමඟ මාර්ගය මඩවී වාහනයකට හෝ පයින් ගමන් කරන්නෙකුටවත් මාර්ගයේ ගමන් කළ නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

එමෙන්ම නකල්ස්, රිවස්ටන් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝද මේ හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටිති.

පැවැති අධික වර්ෂාවත් සමග මාර්ග මඩ වීමෙන් වාහන කිහිපයක් මඩේ එරීමෙන් පැමිණි පිරිස අපහසුතාවට පත්වු බවත් අනතුරු කිහිපයක්ද සිදු වු බවත් මාර්ගයේ නිතර ගමන් කරන්නෝ පැවසූහ.

මෙම මාර්ගයේ ගමන් ගන්නා පිරිසට ඇති පොදු ප්‍රවාහන සේවය ඉතාමත් අල්පය. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් උදෑසන සහ සවස ගමන් කරන අතර සිය දෛනික අවශ්‍යතා වෙනුවෙන් බොහෝ දෙනා සිය පෞද්ගලික වාහන භාවිතා කරති.

මාර්ගයේ පවතින මෙම තත්වය සමග වර්තමානයේදි ගම්මානවල ජනතාව මෙන්ම ලග්ගල පල්ලේගම රාජ්‍ය ආයතන සදහා මාතලේ සිට පැමිණෙන රාජ්‍ය නිලධාරීහු ද දැඩි අපහසුතාවට ලක්ව සිටිති.