දුම්වැටි සමඟ රේගුවේදී ලාංකිකයෙක් දැලේ


(ටී.කේ.ජී.කපිල )
 
 ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ද (05)  අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබිණි.
 
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි . 
 
 ඔහු අද අලුයම  5.20 ට පමණ ඩුබායි සිට පැමිණ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් 551 දරණ  ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත "ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි .
 
                   ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුනක මෙම දුම්වැටි තොගය අසුරා ගෙන තිබූ අතර , එම ගමන් මලු වල ඔහුගේ ඇදුම් හෝ වෙනත් පෞද්ගලික කිසිවක් නොතිබුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .
 
                එපමණක් නොව ඔහු මෙම දුම්වැටි තොගය ගෙන ඒම සදහාම ඩුබායි වෙත ගොස් ඇති බවත් රේගුව සිදු කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන තිබුණි .
 
                මෙසේ අත් අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 14,98,000 ක් බවත් , එම ගමන් මලු වල ඩුබායි හි නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 29,960 ක් තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .