දියේ ගිලි අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර ගොඩ ගනී


(පැතුම් දර්ශන)

හොරොව්පොතාන මරදන් කඩවල වැවේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් අද (06) උදෑසන ගොඩගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන, අලුත් වත්ත, අක්කර සීය, ලිපිනයෙ පදිංචි මුස්තාපා මොහොමඩ් පයිරුස් නමැති එක්දරු පියෙකි.

මොහු ඊයේ (05) සවස තවත් මිතුරන් හතරදෙනකු සමග මරදන් කඩවල වැවෙ දිය නෑමට ගොස් ඇති අතර එහිදී නෙළුම් කොළයක් කැඩීමට යැයි පවසමින් මංකඩේ සිට මීටර් විස්සක් පමණ ගැඹුරු දියට පිහිනා ගොස් ඇති බවයි.

එහිදී ඔහු දියෙ ගිලී මරණයට පත්ව ඇති  බවත් පොලිසිය වැඩිදුරටත් කියයි.

ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිමෙන් පසු එම ස්ථානයට පැමිණි හොරොව්පොතාන පොලිසියෙ  නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මිය ගිය පුද්ගලයාගේ සිරුර සොයාගැනීමට දැඩි වෙහෙසක් ගත්තද එය පල රහිත විය. 

ඒ අනුව අනුරාධපුර පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමේ නිලධාරීන්ද එම ස්ථානයට ගෙන්විමට පොලිසියට සිදුවිණි. පසුව එම නිලධාරීන් විසින් අද(06) මිය ගිය පුද්ගලයාගේ සිරුර සොයාගෙන ගොඩට ගනු ලැබීය.

මිය ගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදුකල කැබිතිගොල්ලෑව වැඩබලන මහේස්ත්‍රාත් නිලුකා ප්‍රියදර්ශනී මහත්මිය නියෝග කළේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත සිරුර යොමු කරන ලෙසටය.

හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජයරත්න මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන, සැරයන් වරුන් වන (14993) කරුණාරත්න.(59397) හෙරත් යන නිලධාරින් විසින් ඉදිරි පරීක්ෂණ සිදු කරති.