දක්ෂිණ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනය 15 වැනි දා ඇරැඹෙයි


(සිරංගිකා ලොකුකරවිට )

 

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන දක්ෂිණ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනය මේ මස 15, 16, 17, සහ 18 යන දිනයන්හි  පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා ගාල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිත ය.

 

‘දැනුම ධනය කරගත් පරපුරක් උදෙසා දකුණේ පොත්  වසන්තය‘ යන තේමාවෙන් යුතුව පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය හා සල්පිල  දිවයිනේ ප්‍රමුඛ පොත් ප්‍රකාශක සමාගම් මෙන්ම ජාත්‍යන්තර  පොත් ප්‍රකාශකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය පළාතේ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්  දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 15 වැනි දා ප්‍රදර්ශන පරිශ්‍රයේදි පැවැත්වේ.

ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ සංස්කෘතික සංදර්ශන , මැජික් හා රූකඩ  ප්‍රසංග, ළමා  මානසික හා පෞරුෂ වර්ධන වැඩමුළු ආදි අතිරේක වැඩසටහන් පැවැත්වීමට සැලසුම්කර ඇත.