තලෙයිමන්නාරම සමූහ මිනීවළක් පිළිබඳ සැකයක්


(රොමේෂ් මධුෂංඛ)

තලෙයිමන්නාරම කර්මාන්ත පුරය ආසන්නයේ ස්ථානයක ඇටසැකිලි තොගයක් වළදමා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අදාල ස්ථානයේ කැනීම් කටයුතු සිදුකළ බව පොලිසිය පවසයි.
බදාදා (05) දිනය පුරා සිදු කළ කැනීම් අතරතුරදී එක් මිනිස් හිස්කබලක බවට සැකකෙරෙන කොටස් හමු වූ බවට මන්නාරම් පොලීසිය කියා සිටියේය.
මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝගයන් පරිදි කැනීම් කටයුතු සිදු කරනු ලැබූ අතර අදාල කර්මාන්ත පුරය ආසන්නයේ පිහිටි ජල නලයක් ආසන්නයේ මෙම කැනීම් කටයුතු සිදු  විය.
මන්නාරම් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයන් පරිදි කැනීම් කටයුතු ඊයේ දින සවස නවතා දැමුණු අතර නැවත මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයන් පරිදි ඉදිරියේදී නැවත් කැනීම් සිදු කිරීමටද මන්නාරම් පොලීසිය පියවර ගෙන ඇත.
මීට පෙරද මන්නාරම් තිරුකේදීස්වරන් ප්‍රදේශයේදී සිදු කළ සමූහ මිනී වළකින් මිනිස් ඇටසැකිලි 81 ක් වළදමා තිබියදී සොයා ගැනිණි.