(ශාන්ත චන්ද්‍රසිරි)
සියදිවි හානිකර ගැනීමට ඉහල කොත්මලා ජලාශයට පනින ලද තරුණියක බේරා ගැනීමට උත්සාහ ගන්නා ලද පුද්ගලයෙකු ජලයේ ගිලී අද (21) අතුරුදන්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ ලිඳුල, රත්නිල්ලකැලේ ජනපදයේ පදිංචිව සිටි හමීඩ් රික්ෂ්වාන් (28) නැමැති දෙදරු පියෙකි.
නිවසින් විවාහ යෝජනාවක් ගෙන ඒම නිසා ඊට සිත්තැවුලට පත්ව මෙම තරුණිය සියදිවි හානිකර ගැනීමේ අරමුණින් ජලාශයට පැන ඇති අතර, සිද්ධිය දුටු එම පුද්ගලයා තරුණිය බේරා ගැනීමට මෙසේ ජලාශයට පැන තිබේ.
ජලාශයට පනින ලද ඔහු එක්වරම ජලයේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
තලවකැලේ පොලිස් ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු මහතා ක්ෂණිකව ක්‍රියාත්මක වී ජලාශයට බැස තරුණියව බේරා ගැනීමෙන් අනතුරුව ලිඳුල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනීම නිසා ඇගේ දිවි බේරා ගැනීමට හැකි වු බව තලවකැලේ නගර වැසියෝ කියති.
දැනට අතුරුදන්ව සිටින පුද්ගලයා සොයා තලවකැලේ පොලීසිය හා තලවකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.
තලවකැලේ පොලිස් ස්ථාාධිපති රුවන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.