(අනීෂා මානගේ)
ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා අද (30) උදෑසන තංගල්ල ඩිපෝවේ සේවකයින් කිහිපදෙනෙකු ගොඩනැගිල්ලක වහලය මත නැඟ මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබීය.
තංගල්ල ඩිපෝවේ සේවය කරන සියලුම රියදුරු මහතුන් බස්රථ ධාවනය කිරීමෙන්ද ඉවත් වී ඇත.
තංගල්ල ඩිපෝවේ රියදුරු පුහුණු පාසල පිහිටි ගොඩනැගිල්ලේ වහලය මතට එක් රියදුරු මහතෙකු නැඟ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
තවත් රියදුරුමහතුන් හත් දෙනෙකු ඩිපෝවේ ආරක්ෂක නිළධාරින් සිටින ගොඩනැගිල්ලේ වහළය මත නැඟ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත. ඩිපෝව ඉදිරිපිට කළු කොඩිවැල්ද දමා තිබිණි.
උපවාසයේ නියුතු අය පවසන්නේ ඔවුන්ගේ ඉල්ලීම් සදහා සාධාරණ විසදුමක් ලබා දෙන තෙක් මෙම මාරාන්තික උපවාසය අත්නොහරින බවයි. සිය වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා මොවුන් ඇරැඹු උද්ඝෝෂණයට අදට දින තුනකි.