ට්‍රක් - වෑන් අනතුරින් දෙදෙනෙකු මරුට



( දියතලාව - ඩී.කේ.රත්න )

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල පාසල අසලදී ගුවන් හමුදා ට්‍රක් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් වෑන් රථයේ ගමන් ගත් එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ගුවන්හමුදා නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මොනරාගල සිරිගල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.

තණමල්විල ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ ගුවන් හමුදාවට අයත් ට්‍රක් රථයක් සහ වැල්ලවාය ප්‍රදේශයේ සිට තණමල්විල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු ලෙස සේවය කල බුත්තල කටුගහගල්ගේ ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.උපුල් ශාන්ත කුමාර (46) සහ සුදර්ශණී රේණුකා කුමාරි (49) යන අය අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මියගිය දෙදෙනාගෙන්  ආර්.එම්.උපුල් ශාන්ත කුමාර යන අයගේ මෘත දේහය හදපානාගල රෝහලේද සුදර්ශණී රේණුකා කුමාරි යන අයගේ මෘත දේහය තණමල්විල රෝහලේද තැන්පත් කර ඇත.

කුඩාඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි කුඩාඔය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.