(තිලකරත්න දිසානායක)
ජා ඇල ප්‍රාදේශීය සභාව මූල්‍ය රෙගුලාසි, සභා රීතී හා මහා සභාව නොසලකා හරිමින් කටයුතු කරන බව සදහන් කරමින් , එම සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු විසින් ගම්පහ දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් වෙත අද (12) පෙරවරුවේ ලිඛිත පැමිණිල්ලක් බාර දුන්හ.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සහකාර පළාත් පාලන කොමසාරිස් ඉෂාරා ජයසේකර මහත්මිය වෙත ප්‍රාදේශීය සභා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී වරුන් වන කීරීති චන්ද්‍ර ප්‍රනාන්දු , ලසන්ත වීරවර්ධන, ටී.චන්දන සහ පී.සචිනි නිමේෂා යන මහත්ම මහත්මීන් විසින් පැමිණිල්ල බාර දෙනු ලැබූහ.
ජාඇල ප්‍රාදේශිය සභා ගොඩනැගිල්ල අලුත් වැඩියාව හා තීන්ත ආලේප කිරීම, විෂබීජහරණ කුටි හයක් මිලදී ගැනීම හා ජාඇල - කනුවන 1 වන පටුමග සංවර්ධනයේදී මුල්‍ය අක්‍රමිකතා සහ සභා රීතීන් නොසලකා කටයුතු කරන බව සදහන් කරමින් සහකාර පළාත් පාලන කොමසාරිස් වරිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහකාර කොමසාරිස් වරියගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර සිටියේ විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවය.

