ජයලලිතා මස් රාත්තලම ඉල්ලයි


ඉන්දීය මධ්‍යම රජය මඟින් නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකාවේදී අඛණ්ඩව අත්අඩංගුවට පත් වන බවත්, මෙලෙස ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යාංශය හරහා වහා රාජ්‍යතාන්ත‍්‍රික පියවරකට එළැඹිය යුතු බවත්  තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අගමැතිවරයාට ලිපියක් යවමින් කියන්නීය.

ඉන්දීය ධීවරයින් 96 දෙනෙකු සහ ධීවර බෝට්ටු 82 ක් මේවන විට ශ්‍රී ලංකාවේ රඳවා ගෙන සිටින බව සඳහන් කරන තමිල්නාඩු මහ ඇමතිනිය සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේදී දිගින් දිගටම අත්අඩංගුවට පත්වීම හේතුවෙන් තමිල්නාඩු ධීවර වෘත්තීයට දැඩි බලපෑම් එල්වී ඇති බවය.

එබැවින් ඉන්දීය ධීවරයින්ට බාධාවකින් තොරව පෝක් සමුද්‍ර සන්ධියේ මසුන් මැරීම සඳහා කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගත යුතු බවද තමිල්නාඩු මහ ඇමතිනිය සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දෙමින් 1974 සහ 1976 වසර වලදී ඇතිවූ ගිවිසුම් බලරහිත කර ලෙස ඉල්ලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම් පිළිබඳවද ඇය මෙහිදී ඉන්දීය අගමැතිවරයා ගේ අවධානයට යොමු කර ඇත.