ගිනිනිවන රිය පෙරැළී අයෙක් මරුට :දෙදෙනකු රෝහලේ


(සිතුම් චතුරංග)

යාපනය , පේදුරුතුඩුව මාර්ගයේ නිර්වේලි ප්‍රදේශයේදී යාපනය, මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථයක් අද(16) දහවල් අනතුරට ලක්වීමෙන් නගරස සභා ගිනි නිවන භටයකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකොට ඇතැයි කෝපායි පොලිසිය පවසයි.

ගිනි නිවීමේ රථය පේදුරුතුඩුව ප්‍රදේශයේ හටගත් ගින්නක් නිවාදැමීම සඳහා ගමන්කරමින් සිටියදී රථය පාලනය කරගැනීමට නොහැකිව පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් ගිනි නිවීමේ රථයේ ගමන්කළ යාපනය නගර සභාවේ ගිනිනිවන භටයකුවූ ආරියරත්නම් සක්‍යරාජා නැමති 34 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයටපත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබූ රියදුරු සහ සෙසු ගිනිනිවන භටයා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට තිබේ.

පොලිසිය පැවසූයේ ඉදිරිපස රෝදයේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරින් ගිනි නිවන රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර එය අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගයෙන් ඉවතට පැන පෙරලීගොස් ඇති බවත්ය.

මියගිය පුද්ගලයාගේ සිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහලේදී සිදුකිරීමට නියමිතය.

අනතුර සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.