(රවී ලියනගේ)
ගිං ගඟේ ඉවුරු පවිත්‍ර කරන්නේ යැයි කියමින් සුන්දර ගිංගඟ දෙපස මහා පරිමාණ පරිසර විනාශයක් සිදුකරන බව ප්‍රදේශවාසීහු පවසති.
ගිං ගඟේ බද්දේගම කොටසේ ඉවුර පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතිය මේ දිනවල ක්‍රියාත්මක වෙයි.
කෙසේ නමුත් ප්‍රදේශවාසීන් සහ පරිසර සංවිධාන පවසන්නේ ගඟ දෙපස ගස් සහ පඳුරු ඉවත් කිරීම නිසා ගංඟා රක්ෂිතය විනාශ වීමට ඉඩ ඇති බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ගිංගඟේ බද්දේගම කොටසේ කිලෝමීටර් 07 දුරට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ විශාල වශයෙන් ගස් කැපීම තුළින් ගංඉවුර සෝදා යෑ හැකි බවත් මේ ආශ්‍රිතව සිටින සතුන්ට අනතුරු ඇති විය හැකි බවත්ය.
ගංවතුර අවස්ථාවක දී ගඟ අසල ඇති උණගස් බුරුල් වී ගඟට වැටී ගසා ගෙන ගොස් පාලම්වල හිරවෙන බවත් එම නිසා මේ අවස්ථාවේ දී විශේෂ මුදලක් අනුමත නොවුණද තිබෙන මුදල් උපයෝගී කර ගනිමින් ගිංගඟ දෙපස ඇති බුරුල් වු මෙම උණ ගස් සහ වෙනත් ගස් ඉවත් කර ඒ වෙනුවට කුඹුක් පැළ ඉදිරියේදී සිටුවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එසේ කිරීම තුළින් ගං ඉවුර ශක්තිමත් වන බවත් අලංකාර වන බව ද ගාල්ල මාතර වාරිමාර්ග අධ්‍යක්ෂ දීපිකා ත්‍රීමහවිතාන මහත්මිය පවසයි.
“අපි මෙය කරන්නේ ගඟ ලස්සන කරන්න. ඉවුර ශක්තිමත් කරන්න. කපන්නේ නම් උණ පදුරු විතරයි. මහ ගස් කපනවා කියලා කවුරු හරි කියනවා නම් ඒ ගැන වහා සොයා බලන්නම්. නමුත් මම කියන්නේ මේ අවස්ථාවේ හෝ මෙය කළ යුතුයි. නැතිනම් ආයිත් ගංවතුරක් ආවම තමයි සිහි වෙන්නේ. මෙවර මේකට මුහුණ දීපු නිසා දැන් මේ වෙලාවේ මේක කරන්න පුළුවන්. නැත්නම් එක එක ප්‍රශ්න. ලංකාවේ පිරිසිදුම ගඟ තමයි ගිං ගඟ. ඔය සමහර වැලි ගොඩදාන්න ඉල්ලීම් කරන අය තමයි ඔය කතා කියන්නේ. දැන් බලන්න නිල්වලා ගඟේ වැලි ඕනවටත් වඩා පිරිලා . හැබැයි කවුරුත් ගොඩදාන්නේ නෑ. ඇයි කිඹුලන්ට තියන බය නිසා. මේ ගිංගඟටමයි ඒකට ඒන්නේ. මේ ගඟ අපි ආරක්ෂා කර ගත යුතුයි. ඒ සදහා තමයි මෙවැනි වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරන්නේ.” යැයි දීපිකා ප්‍රීමාවිතාන මහත්මිය පවසයි.