ගාල්ල ලංගම ඩිපෝවේ සිව්දෙනෙකුගේ වැඩ තහනම්


(ඩී. ජී. සුගතපාල)
 
ගාල්ල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවෙන් බස් ප්‍රවේශපත්‍ර යන්ත්‍රයක් සොරාගෙන මගීන්ට ව්‍යාජ ටිකට්පත් නිකුත් කර රුපියල් ලක්ෂ ගණනක් වංචා කිරීම සම්බන්ධයෙන් ගාලු ඩිපෝවේ කළමනාකරු ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ දකුණු  පළාත් ප්‍රාදේශීය කළමනාකාර කාර්යාලය පවසයි.
 
ඩිපෝ කළමනාකරු, පරිගණක ක්‍රියාකරුවන් දෙදෙනා සහ යෙදවීම් නිලධාරි යන සිව්දෙනා වැඩ තහනමට ලක්කර ඇති අතර එම යෙදවීම් නිලධාරියාද පරිගණක කටයුතුවල නිරත වන අයෙකු බව ලංගම උසස් නිලධාරියෙක් පැවසීය.
 
සිද්ධිය වාර්තාවීමෙන් පසුව නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් පැමිණි නිලධාරි කණ්ඩායමක් විසින් මූලික පරීක්ෂණ පවත්වා මෙම සිව්දෙනාගේ වැඩ තහනම් කර ඇත. 
 
මේ වනවිට ව්‍යාජ ටිකට්පත් නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගාල්ල පොලිසිය පැවසුවේ තවත් ටිකට් යන්ත්‍ර දෙකක් අතුරුදහන් වී ඇති බවට තවත් පැමිණිල්ලක් ලැබී ඇති බවය.
 
සොරකම් කරන ලද ටිකට් යන්ත්‍රය වඳුරඹ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. වසරකට ආසන්න කාලයක් තිස්සේ ලංගමයට රුපියල් ලක්ෂ පහකට අධික පාඩුවක් සිදුව ඇතිබවද අනාවරණය කරගෙන තිබේ.