( විනීතා එම් ගමගේ )
දින කිහිපයක් තිස්සේ ගල්කිස්ස මුහුදු වෙරළට මහා පරිමාණයෙන් ගොඩ ගසමින් ඇති පොලිතින් හා ප්ලාස්ටික් ඇතුඵ අපද්‍රව්‍ය පිළිබදව පරික්ෂණයක් කරන්නැයි වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කොළඹ දිසාව භාර ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
වෙරළට ගොඩ ගසන මෙම අසාමාන්‍ය කසල තොගය යම් කුමන්ත‍්‍රණයක ප‍්‍රතිපලයක් විය හැකි යැයි බවත් අද (05) පරවරුවේ මේ සම්බන්ධව ගල්කිස්ස පොලිසියට පැමිණල්ලක් කළ බවත් චන්ද්‍රකීර්ති මහතා ලංකාදීපයට පැවැසීය.
වාරකන් කාලවල දී මුහුදු වෙරළට කසල ගොඩ ගැසීම සාමාන්‍ය දෙයක් වුවත් එහි දී පාවී එන්නේ වීදුරු බෝතල් තැඹිලි කෝම්බ පාවහන් කැබලි වැනි දේ බවත් පොලිතින්, ප්ලාස්ටික් පාවී ඒම අසාමාන්‍ය දෙයක් බවත් කී වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි තිබු මුද්‍රිත පොලිතින් කවර පරික්ෂා කිරීමේ දී ඒවායේ මැයි මස 17 වැනිදා මුද්‍රණය කරන ලද ඒවා තිබු බවත් මාස කිහිපයක් පැරණි ඒවා ද එහි තිබු බවත් කීය.
යම් ස්ථානයක එකතු කරන ලද පොලිතින් ප්ලාස්ටික් තොගයක් මොරටුව දෙසින් මුහුදට දමා ඇතැයි පෙනී යන්නේ යැයි කී චන්ද්‍රකීර්ති මහතා මෙය හිතාමතා කරන ලද්දක් යැයි විශ්වාස කරන බව ද පැවැසීය.
ලෝක පරිසර දිනය යෙදෙන ඊයේ දවස තුළ මෙම කසල තොගය පිරිසිදු කළ බව කී ඔහු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර පොලිසිය, වන අරණ සංවිධානය හා ප‍්‍රදේශවාසින් ඊට සහභාගි වූ බවත් අද දවසේ එම ප‍්‍රදේශය පිරසිදු කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද කීවේය.