ගංවතුරින් මාතර පවුල් 163 ක පුද්ගලයන් 680 ක් පීඩාවට


(එස් .ඩි. කොඩිකාර )

මාතර දිස්ත්‍රික්කයට ඊයේ (19) දින ඇදහැළුණු අධික වර්ෂාවෙන්  හා තද සුළං හේතුවෙන් පවුල් 163 ක  පුද්ගලයින් 680 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා අද (20) පැවසීය .

මේ හේතුවෙන්  එක් පුද්ගලයෙකු තුවාළ ලබා ඇති අතර පූර්ණ නිවාස හානි එකක්, අර්ධ නිවාස හානි 151 ක් හා වෙනත් දේපළ හානි එකක් වාර්තා වන බවත් එක් සුරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 09 ක පුද්ගලයින් 36 දෙනෙකු ස්ථානගත කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම් වරයා වැඩිදුරටත් පැවසී ය.

අධික සුළං හා තද වැසි හේතුවෙන් කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 113 ක පුද්ගලයින් 484 දෙනෙක් පීඩාවට පත්ව එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර අර්ධ නිවාස හානි 113 ක් වාර්තා වේ.

පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 35 ක පුද්ගලයින් 133 දෙනෙක් පීඩාවට පත්ව අතර පූර්ණ නිවාස හානි එකක්, අර්ධ නිවාස හානි 25 ක් හා වෙනත් දේපළ හානි එකක් වාර්තා වේ.

ඊට අමතරව බටාඳුර පන්සලේ පිහිටුවන ලද සුරක්ෂිත මධ්‍යස්ථානයේ පවුල් 09 ක පුද්ගලයින් 36 දෙනෙකු ස්ථානගත කර තිබේ.

පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 07 ක පුද්ගලයින් 26 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 07 ක් වාර්තා වේ.

අධික සුළං හේතුවෙන් හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 05 ක පුද්ගලයින් 25 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 03 ක් වාර්තා වේ.

අධික සුළං හේතුවෙන් දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 02 ක පුද්ගලයින් 07 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 02 ක් වාර්තා වේ.

අකුණු අනතුරු හේතුවෙන් වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ එක් පවුලක පුද්ගලයින් 05 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 01 ක් වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් සදහන් කළේය.

විශේෂයෙන් ඊට අමතරව කොවිඩ් 19 වෛරසයේ බලපෑම මත නිරෝධායනය වන පවුල්වල ආපදාවට ලක් වූ පුද්ගලයින් 21 දෙනෙකු අකුරැස්ස - මාරඹ යොවුන් සේනාංකයේ නේවාසිකව සිටී.