( ජයරත්න වික්‍රමාරච්චි )
ගංවතුරින් හානියට පත්වූ නිවාස සඳහා රජයෙන් ලබාදෙන ආධාර තමන්ට ද ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් කරුවලගස්වැව නීලබැම්ම ප්‍රදේශවාසීහු පිරිසක් අද(25) කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක් කළහ.
ඉකුත් වසරේ මැයි මාසයේ දී ඇතිවූ ගංවතුරෙන් හානියට පත්වූ නිවාස සදහා රජයෙන් ගෙවනු ලබන මුදල් ආධාර ලබාදීම සඳහා සුදුස්සන් තොරා ගැනීමේදී තමන්ට අදාළ නිලධාරීන්ගෙන් අසාධාරණයක් සිදුවී ඇති බවද විරෝධතාකරුවෝ පැවසූහ.
මේ පිළිබදව නැවත සමීක්ෂණයක් සිදුකරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.
ඒ අනුව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක බාලසූරිය මහතා විරෝධතාකරුවන් සමග මෙහිදී සාකච්ඡාවක් සිදුකළ අතර එහිදී අනාවරණය වූ තොරතුරු මත නිවාස සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් නැවත සමීක්ෂණයක් සිදුකිරීමට ඇති වූ එකගතාවය මත විරෝධතාවය අවසන් කෙරිණි.