(ක.ග. කරුණාරත්න)
යාපනය, කිලිනොච්චිය ප්‍රදේශයේ සිට කේරළ ගංජා රැගෙනවිත් මින්නේරිය, හිඟුරක්ගොඩ, අරලගංවිල යන ප්‍රදේශවලට බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටින යුද හමුදා සෙබළෙකු, කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ගංජා ග්‍රෑම් 590ක්ද සමඟ අද (10) මින්නේරියේදී අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි.
මින්නේරිය පොලිස් දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ.එම්.ජී.එස්. කුලතුංග මහතාට ලැබුණු තොරතුරකට අනුව මේ වැටලීම සිදුකර ඇත.
ගංජා විකුණා ලබාගත් බව කියන රුපියල් 61,000ක මුදලක්ද, සැකකරුවන් සන්තකයේ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් රුපියල් හාර ලක්‍ෂ දෙදාහක (4,02000ක) මුදලක් බැංකු ගතකර තිබෙන බව සැකකරුවන් විසින් පොලිසියට ප්‍රකාශ කර තිබේ.
යුද හමුදා සෙබළා මිහින්තලේ ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක දැනට සේවය කරන බවත්, හෙතෙම කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අනාවරණය වී තිබේ.
සැකකාර කාන්තාව මින්නේරිය, හේන්යාය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර අනෙක් සැකකරු හිඟුරක්ගොඩ, බටුකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොවුන් තිදෙනා එක්ව මෙම ගංජා බෙදාහැරීමේ ජාවාරම කාලයක පටන් ඉතා රහසිගතව සිදුකර තිබෙන බව සිදුකළ විමර්ශන වලදී හෙලිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මින්නේරිය පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.