කොමඩු කොරටුවේ මුවමස් වේලමින් සිටි සෙබළාට දඩ


යාල පලටුපාන යුද හමුදා ගොවිපළට යාබදව, පැණි කොමඩු කොරටුවක මුවමස් වේලමින් සිටියදී වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කළ සෙබළාට, වරද පිළිගැනීමෙන් පසු රුපියල් 30,000ක දඩයක්  ගෙවන ලෙස දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය අද(04)  නියෝග කළාය.
       
මෙසේ දඩ මුදල් නියම වූයේ නොචිචියාගම, තුලානේ පදිංචි ගන්නොරුවේ විරිඳුකාර ගෙදර ප්‍රසාද් ප්‍රදීප්කුමාර නැමති හමුදා සෙබළෙකුටය.
       
යාල වනෝද්‍යාන සීමාවට මායිම්ව වන සංරක්ෂණ රක්ෂිත ප්‍රදේශයේ යුද හමුදාව පවත්වාගෙන යන ගොවිපොළට යාබදව, කොමඩු ගොවිපොළක වාඩියක මුව මස් වේලමින් සිටියදී ඉකුත් 27 දා වනජීවී නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
 
වේළන ලද මස් කිලෝ 2ක් සහ අමු මුව මස් කිලෝ 2ක් නිලධාරීන් බාරයට ගෙන ඇත.
     
       
මෙම ගොවිපොළ පවත්වාගෙන යන මුවාවෙන් පසුගිය කාලය තුළ සැකකරු වන සතුන් දඩයම් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් වනජීවී නිලධාරීහු විමර්ශනය කරමින් සිටිති.
 
යාල උද්‍යානයේ දෙවන නිලධාරී ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක රංජිත් සිසිර කුමාර මහතා සැකකාර සෙබළ අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.