ජුඩ් සමන්ත
කොළඹ සිට මන්නාරම දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක්ට හලාවත නගරයේ දී පහර දුන් බව කියන තවත් පෞද්ගලික බස් රථයක රියදුරකු සහ කොන්දොස්තරවරයෙක් කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඊයේ (29) රාත්‍රී 8.00 ට පමණ හලාවත නගරයේ නගර සභාව ඉදිරිපිට පිහිටි බස් නැවතුම්පළදී මෙම පහර දීම සිදුකර ඇත.
පහර කෑමට ලක්ව ඇත්තේ සිලාවතුර පාර - මුරුන්කන් පදිංචිකරුවකු වන ජබරුල්ලා ඛාන් ෆයිසාල් නම් අයෙකි. හෙතෙම කොළඹ සිට මන්නාරම දක්වා ගමන් කරමින් තිබූ බස් රථයේ කොන්දොස්තරවරයාය. පහර දීමෙන් පසුව කල්පිටිය දක්වා ගමන් කරමින් තිබූ බස් රථය පිටත්ව ගොස් තිබේ.
පහර කෑමට ලක්වූ කොන්දොස්තරවරයා මේ සම්බන්ධයෙන් හලාවත පොලීසියට පැමිණිළි කර ඇත. හලාවත පොලීසිය විසින් කරන ලද දැනුම් දීමක් අනුව කල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් බස් රථය තම බාරයට ගෙන එහි සේවය කරන රියදුරු සහ කොන්දොස්තරවරයාව අත්අඩංගුවට ගෙන ඇත.