කාන්තාවක ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට


(වන්නි රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය, පණ්ණකඩ්ඩි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.


මාන්කුලම, මුරුකණ්ඩි, වසන්තනගර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක්දරු මවක් වන කරුපයියා නිත්‍යකලා නමැති කාන්තාවක් ඝාතනය කර ,කිලිනොච්චිය පණ්ණකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක මළ සිරුර දමා තිබියදී පසුගිය 29 වැනිදා සොයාගත් අතර, අදාළ ඝාතනය සම්බන්ධයෙන් කිලිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


මේ අතර සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඝාතනයට ලක් වූ කාන්තාවගේ අවසන් කටයුතුද ඊයේ සවස මුරුකණ්ඩි පොදු සුසාන භූමියේදී සිදු කෙරුනේ ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.


කුඹුරු යායක තිබී සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් යාපනය රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අදාළ මරණය ගෙල කිසියම් වයරයකින් හෝ ලණුවකින් සිරකර සිදුකළ ඝාතනයක් බවට අනාවරණය වු බවද කිලිනොච්චිය පොලිසිය පැවසීය.


මරණ පරීක්ෂණ වාර්තාව අනුව මියගිය කාන්තාව මාස පහක ගර්භනි කාන්තාවක් වන බවටද අනාවරණය වී ඇත.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මියගිය කාන්තාව කිලිනොච්චිය ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක ආරක්ෂක රාජකාරි කටයුතු සිදුකර ඇති අතර ඇයගේ සැමියා නොමැති වීමෙන් තනිවම සිටි අතර මෑත කාලයේදී තවත් පුද්ගලයෙකු සමග සම්බන්ධතාවක් පැවැති බවට ප්‍රදේශවාසීහු කියා සිටියහ.


පොලිසිය පැවසූවේ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගිය පිරිසක් අදාළ කාන්තාවගේ මළ සිරුර දැක ඇති අතර, අනතුරුව පොලිසිය දැනුවත් කර  මෘතදේහය පරීක්ෂණ කටයුතු සඳහා යොමු කළ බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි
.