ඉන්දීය ධීවර යාත්‍රා උතුරු, නැගෙනහිර මසුන් මරනවා


(චන්ද්‍රෙස්න ගමගේ)
 

‘‘මේ වනවිට ඉන්දීය ධීවර යාත්‍රා 4000ක් පමණ මෙරට උතුරු හා නැගෙනහිර  මුහුදු තීරය ආක්‍රමණය කර අපේ මත්ස්‍ය සම්පත මංකොල්ල කනවා. මෙරට නාවික හමුදාව විසින් එම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගන්නට පියවර ගන්නේ නෑ. ඊට අපේ  රටේ  ඉහළම පෙළේ නායකයෙකු බලපෑම් කරනවා...‘‘ යැයි  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (29) පෙරවරුවේදී  පැවසීය.

තංගල්ල රැකව පිහිටි ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනු රාජ්‍ය ඇමතිවරයා එසේ පැවසීය.

ඇමතිවරයා එහිදී මෙසේද පැවසීය.

‘‘තමන්ගේ පුටුව රැකගැනීම සඳහා මේ රටේ ඉහළම නායකයෙකු අපේ රටේ මත්ස්‍ය සම්පත ඉන්දියාවට මංකොල්ල කන්න ඉඩදී තිබෙනවා. එම යාත්‍රා නාවික හමුදා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා එම නායකයා මැදිහත් වී තිබෙනවා. අපේ රටේ සම්පත් විකුණා හෝ තම පුටුව රැකගැනීමට කවුරු හෝ උත්සාහ කරනවා නම් එය ලැජ්ජා සහගත ක්‍රියාවක්. නායකයෝ එවැනි දේවල් කළ යුතු නෑ.

2015දී අපේ රජය බලයට පත් වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉන්දීය නායකයන් සමග සාකච්ඡා කරලා මෙම ඉන්දීය ධීවර ආක්‍රමණය අවම කිරීම සඳහා කටයුතු කළා. එසේ එම ගැටළුව විසඳී තිබුණු නිසා අපේ මත්ස්‍ය සම්පත නෙළාගන්න අපේ ධීවරයන්ට හැකි වුණා. නමුත් මේ රටේ ඉහළ නායකයෙකු නිසා අද ඒ මත්ස්‍ය සම්පත් ඉන්දීය ධීවරයින්ගේ අතට පත් වී තිබෙනවා‘‘ යැයි ධීවර රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.