(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවෙන් තමන්ට වෙන් කළ නිවාස 200 ලබා දෙන ලෙස ඉල්ලා යාපනය නාවට්තුරෙයි පොන්වේලි සහ අංජිසන්ධි ප්‍රදේශවාසීහු පිරිසක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අද (26) විරෝධතාවක් පැවත්වූහ.
පැවති යුද තත්ත්වය හේතුවෙන් වසර 20 කට පෙර පුත්තලම් දිස්ත්‍රික්කයට ගොස් නැවත පදිංචියට පැමිණි මුස්ලිම් වැසියන් පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
අදාළ නිවාස 200න් නිවාස 15ක් පමණක් මේ වන විට එම වැසියන්ට ලබා දෙන බවට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුම් දීම නිසා මෙම විරෝධතාව පවත්වන බව විරෝධතාකරුවෝ පැවසූහ.
ඔවුන්ට දැනුම් දී ඇත්තේ එම වැසියන්ට පුත්තලම් දිස්ත්‍රික්කයේදී නිවාස ඇති හෙයින් නිවාස නොමැති වැසියන්ට පමණක් නිවාස වෙන් කළ බවයි.ඉතිරිය නිවාස නොමැති දෙමළ වැසියන්ට ලබා දීමට පියවර ගෙන ඇති බවත් ඔවුන්ට දන්වා ඇත.
විරෝධාතාවය අවසානයේ විරෝධතාකරුවෝ යාපන දිසාපති නාගලිංගම වේදනායගම් මහතාට සන්දේශයක් බාරදුන් අතර දිසාපතිවරයා එහිදී පැවසුවේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් පළාත් සභා නිලධාරීන් සමග සාකච්ඡා කර ඉක්මන් විසඳුමක් ලබා දෙන බවයි.