ඇමති නිලධාරියාගේ රථයට පහර දී - මාලය කොල්ල කාලා


(දයාරත්න ඇඹෝගම)
 
කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ සම්බන්ධීකරණ නිලධාරී පී. නිව්ටන් මහතාගේ නිල රථයට කිසියම් පිරිසක් නිවන්තක චේතිය විදුහල ඉදිරිපිටදි ගල්වලින් පහරදී ඔහුගේ රන්මාලයද පැහැර ගෙන ඇති බව අනුරාධපුර පොලිසිය කියයි.
 
මෙම ගල් ප්‍රහාරයෙන් රජයට අයත් කැබ් රථයට හානි සිදුව තිබේ.

කොල්ල කන ලද මාලයේ වටිනාකම රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසක් වන බවද පොලිසිය පවසයි.
 
නිවන්තකචේතිය විදුහල ඉදිරිපිට පවත්වාගෙන යන බටහිර ආසනයේ එ.ජා.ප ප්‍රධාන කාර්යාලයේ මහජන දිනය වෙනුවෙන් ගැටළු විසඳීමට පැමිණි අමාත්‍යවරයාගේ සොහොයුරු, සම්බන්ධීකරණ නිලධාරී පී. නිව්ටන් මහතා ආපසු යමින් සිටියදී ඊයේ(13) පස්වරුවේවාහනයට අසල්වාසී පිරිසක් ගල්මුල්වලින් පහරදී ඇතැයි පොලිසිය කියයි.
 
මෙම කාර්යාල භුමියේ අයිතිය වෙනුවෙන් පිරිසක් අතර පවතින ගැටුමක් දුරදිග යාමෙන් මෙය සිදුව ඇතැයි පොලිසිය පවසයි.
 
මෙම ගැටුමෙන් තුවාල ලැබූ කාන්තාවක සහ ඇයගේ සැමියාද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
 
අනුරාධපුර පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.