ඇඟලුම් සේවිකාවක ඝාතනය කළ අයෙක් රිමාන්ඩ්


(ඩී.ජී.සුගතපාල)
 
ඇඟලුම් කම්හල් සේවිකාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු ඔක්තෝබර් 30වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් පේමරත්න තිරාණගම මහතා අද (20) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ අහංගම නාකන්ද පදිංචි කොට්ටවදූව ගමගේ විපුල සඳරුවන් නමැති 26 හැවිදිරි සැකකරුවෙකි.
 
කොග්ගල වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් සේවිකාවක් වු වැලිගම මූදුගමුව බතලවත්තේ පදිංචි රාජපුරගේ මයුරි නිශාදි නමැති 21 හැවිරිදි තරුණියගේ මළ සිරුර අහංගම දඬුහැල ප්‍රදේශයේ  නිවසක් පිටුපස වැසිකිළි වළක තිබී   (18) වන දින හබරාදුව පොලිසිය විසින් සොයා ගන්නා ලදි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සැකකරු අත්අඩංගුවට ගෙන පැය 48ක් රැඳවුම් නියෝග ලබාගෙන පරීක්ෂණ පැවැත්විමෙන් අනතුරුව  අද මෙසේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.
 
සේවා කටයුතු සදහා ගිය දියණිය නොපැමිණීම හේතුවෙන් ඇයගේ දෙමව්පියන් හබරාදුව පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව කරන ලද විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
 
සැකකරු එම කාන්තාව සමග කම්හලේ කටයුතු කර ඇති බවත්, ඇයව සිය නිවසට කැඳවාගෙන ගොස් ඇති බවත් ඔහු එල්ල කරන ලද පහරකින් ඇය මියගිය බවත්, ඇඳුම් පුළුස්සා දමා මළ සිරුර නිවස පිටුපස වැසිකිළි වළට තල්ලුකර දමා ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වූ බව පොලිසිය පවසයි.
 
හබරාදුව පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.