ආටිගල නිවසකින් මළ සිරුරක් සොයා ගනී


(කේ බුද්ධික කුමාරසිරි)

හංවැල්ල ආටිගල ‘‘ආටිගල වෙල’’ ප‍්‍රදේශයේ අතහැර දමා තිබූ පාළු නිවසක මිය ගොස් සිටි නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (23) හමු වූ බව හංවැල්ල පොලිසිය පවසයි.

පැරණි යකඩ කැබලි එකතු කරන්නෙකු එම ප‍්‍රදේශයෙන් යන අතරතුර දුගඳක් දැනී විපරම් කිරීමේදී මළ සිරුර දැක ගොඩනැගිල්ලේ හිමිකරුට දැනුම්දීමෙන් පසු එම හිමිකරු විසින් හංවැල්ල පොලිසියට දන්වා පොලිස් නිලධාරීන් සිදුකළ පරීක්ෂාවේදී මළ සිරුර හමු වූ බව ද පොලිසිය පවසයි.

මළ සිරුර දින 7 - 10 ත් අතර කාලයක් තුළ මියගිය පුද්ගලයකුගේ බවට සැකකරන බවත් එම පුද්ගලයා වයස අවුරුදු 45 ත් 50 ත් අතර පුද්ගලයකු විය හැකි බවට අනුමාන කළ බව පොලිසිය පවසයි.

එම මළ සිරුර හමු වූ ගොඩනැගිල්ල පස් සෝදා වැලි ලබා ගැනීමේ ව්‍යාපාරයක් වෙනුවෙන් තැනූ අතහැර දැමූ ගොඩනැගිල්ලක් වන බවත් කිසිදු පුද්ගලයකු එහි නවාතැන් ගෙන නොසිටි බවත් ගොඩනැගිල්ලෙහි හිමිකරු විසින් පොලිසියට පවසා තිබේ.

මෙම මරණය ඝාතනයක් ලෙස සළකා පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ මිරිහාන අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කිරීමටත් මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමටත් කටයුතු කරන බවද එම නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.